Saturday, 30 November 2024

සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......

 


දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි.https://www.facebook.com/search/top?q=ministry%20of%20justice%20-%20mediation%20boards%20commission මේවත් දැකල සමහර අය කියන දුක් ගැනවිලිත් අහළම තමයි මේ සටහන ලියවුණේ.දන්න අදුරණ මනුෂ්‍යෙයක්ගේ පවුල්ජීවිතයට තවත් කෙනෙක් ඇතුල් වෙලා ආරවුලක්. ඒ කියන්නේ කොටින්ම හොර මිනිහෙක්. වැඩේ අතටම අහුවෙලා. මේ මනුෂ්‍යය පොලිසියට ගියහම ඒක සමථ මණ්ඩලයට දාල. සමථ මණ්ඩලයට ගියහම කිව්වල තම තමන්ට කැමති සමථකාර වරයෙක් තෝරාගන්න කියල. ඉතින් මේ දෙන්නම හිතුවලු වෙවැනි දේ ගැන හොදට දන්න අඩුගානේ මැදි වයෙසෙවත් කෙනෙක් තෝරාගන්න. එහෙත් එතැන හිටියෙ වයසක නෝන මහත්තුරු පමණක්ම නිසා එයින් දෙන්නෙක් පත්කර ගත්තලු. ඒ දෙන්නත් එකතු වෙලා තවත් කෙනෙක් පත්කර ගත්තලු. එයත් ඒ වගේම කෙනෙක්. එයාල පටන් ගන්න කොටම කිව්වලු අපි මේ කාරණය ගැන ඔයාල කියන දේවල් කාටවත් කියන්නේ නැහැ. ඒව කිසිම දේකට යොදාගන්නෙත් නැහැ රහස්‍ය භාවය උපරිමයෙන්ම ආරක්ෂ කරනව කියල. ඔන්න වැඩේ නැගල යනකොට තවත් කෙනෙක් එතනින් ඉදගත්තලු. දැන් හතර දෙනෙක්. අන්තිමට කිය කියා හිටපු  දේවල්වත් කියා ගන්න බැරි වුණාලු.අන්තිමට අර අත්තම්මයි සීයල දෙන්නයි විශාල අවවාද රාශියකුත්දීල අන්තිමට කිව්වල දැන් ඉතින් ලොකු මහත්වෙන දරුවොත් ඉන්නවනේ. ඕව අතඇරල බණක් භාවනාවක් කරගෙන ඉන්න කියල. හොර මිනිහටත් කිව්වල ආයෙමත් ඒ පැත්තෙ යන්නෙ නැහැ කියල පොරොන්දු වෙන්න කියල. පොරොන්දු වෙලා ගියාට මොන මෝඩයද අප්ප එහෙම කරන්නේ. මෙතැන්ට ගිහිල්ල ඇවිල්ල මේ යකා කියනව උන් කරන්න පුළුවන් හැම දේම කරල හොට බිම ඇනුනට පස්සේ අපිට බන බාවනා කරන්න කියනව කියල. 

මෙතැනහිටපු හතරවන පුද්ගලය තමයි සමථකරණ කටයුතු නිරික්ෂණය කරන්න පත් කරපු නිලධාරියා. යමක් හරියාකාරව සිදුවනවාද යන්න තහවුරු කර ගැනීමට නිරික්ෂකයෙක් පත් කිරීම ඉතාමත් හොද දෙයක්. ඒත් මෙයා නිරික්ෂණ ක්‍රමවේදය ගැනත් සමථකරණය ගැනත් දන්නෙම නැහැ කියලයි හිතෙන්නෙ. රහස්‍යභාවය අපෙක්ෂා කරන වැඩ පිළිවෙලකට ඍජු නිරික්ෂණය හෝ සහභාගිත්ව නිරික්ෂණය යොදා ගත නොහැකි බවත් ඒ සදහා යෝග්‍ය වන්නේ වක්‍ර නිරික්ෂණය බවත් මෙයාට කිසිම බලධාරියෙකු විසින් කියල දීල නැහැ. මේගැන  පළපුරුදු සමථකාර වරයෙක් නිකමට අහල බැලුවහම කිව්වේ එයාට මණ්ඩල වල වාඩි වෙලා නිරීක්ෂණය කරන්න නිසි බලධාරින් විසින් උපදෙස් දී ඇතිබවයි. 2024 අංක 2 දරණ සමථ මණ්ඩල සංශෝධන පනත https://drive.google.com/file/d/16ZHirUUlxRdkSihVbxhWlni3xUpjO5pa/viewඅනුව මෙම නිලධාරියාට පැමිණිලි භාරගැනීමේ වගකීම පවරා ඇතත් සභාපති වරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව එම ආරවුල් විවෘත කිරීමටද බලයක් ලබා දී නැත්තේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීම සදහා බවත් සඳහන් වෙනව.  වැරදි අදහසක් මොකක් හෝ හේතුවක් නිසා සමාජ ගත වෙලා. මේව මෙහෙම වෙනකොට  කියන්න වෙන්නේ මේවය පිහිට පතාගෙන යන ජනතාවට දෙවියන්ගෙම පිහිටයි කියලයි.උන් ඉතින් පේස්බුක් එකේවත් විවේචනය කරන්නෙ නැතිව මොනව කරන්නද.

මෙතනදි කියන්න වෙන්නේ නිරික්ෂකයිනුත් ඒඅයට උපදෙස් දෙන අයත් නිරීක්ෂණ ක්‍රම වේදයන් හරිහැටි අධ්‍යානය කරන කටයුතු කළ යුතු බවත් සමථ කරුවන් වශයෙන් එම කටයුත්ට සුදුසු පිළිගතහැකි පුද්ගලයන් පත්කරගතයුතු බවත්ය.

 

පසු වදන

සමථකාර වරුන්  පත්කීරීමේ ක්‍රමවේදයේ බොහෝ ගැටළු ඇත. සමථ මණ්ඩල පිළිබද නිසි අගයීමක් හෝ වටිනාකමක් සමාජගත නොවීම නිසා සමාජයේ පිළිගතහැකි පුද්ගලයින් බොහෝ විට සමථමණ්ඩල වලට සම්බන්ධ නොවේ. සමථකාර වරුන් වශයෙන් බොහෝ විට පත්වන්නේ විශ්‍රාමිකපපුද්ගලයන්ය.ඔවුන් බොහෝවිට මෙය සළකන්නේ රැකියාව කරන කාලයේ තිබුණායැයි සිතන අභිමානය රදවා ගැනීමේ මාධ්‍යක් ලෙසිනි.ඉතා උජාරුවට හැසිරීමට කැමැත්තක් දක්වන එතුමන්ලා බොහෝ විට සමථකාරවරයෙකුගේ භූමිකාවට වඩා නඩුකාරවරයෙකුගේ භුමිකාවට කැමැත්තක් දක්වයි. ආගමික පසුබිම උපයෝගි කර ගනිමින් නඩු විසදන ඔවුන් බරපතල ලෙස උපදෙස් දීමටද, තීන්දු තීරණ ලබා දීමටද උපන් හපන්කම් ඇති පුද්ගලයින්ද වේ.අවුරුදු හතලිය පණහේ පුද්ගලයින්ගේ පවුල් ආරවුල් වලදි පවා ඇතැම් සමථකාරවරුන් පවසා ඇත්තේ දැන් ඉතින් ළමයිත් ලොකු නිසා බණක් භාවනාවක් කරගෙන ඉන්නා ලෙසයි.  මෙයින් පෙනී යන්නේ ආරවුල් කරුවන් හා සමථකාරවරුන් අතර විශාල හිඩැසක් පවතින බවයි.ආරවුල්වල විෂයය පථය හදුනා ගැනීමටද බොහෝ විට මොවුන් අපොහොසත් වී ඇත.

බොහෝ සමථකාරවරුන්ගේ අරමුණ වන්නේ ආභරණයක් ලෙස සමථකාර තනතුර භාවිතා කිර/ිමයි.සමහර පුද්ගලයින් බෝඩ් ලෑලි එල්ලාගෙන තමන් ගැන ප්‍රචාරය වන පරිදි කටයුතු කරන අතර තවත් අය තමාසමථකාර වරයෙක් ලෙස හදුන්වන ලාංඡන පවා තම වාහනවල ප්‍රදර්ශණය කරමින් ගමන් කරන අවස්ථාද ඇත.ඒවා ඇතැම් රථවාහන වැරදි වලින් බේරීම සදහා කරන උපක්‍රමද වේ. ඇතැම්අය ලැබෙන සුළු මුල්‍යමය ලාබය ගැන ද නොසලකනවාද නොවේ. මේ අය තම අරමුණ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළබෙයි. මෙවැනි අයගෙන් නිශ්සරනාධ්‍යාශයෙන් යුතු සේවයක් බලාපොරෝත්තු විය හැකිද.???????......

මෙම කාරණා අදාල වන්නේ ලංකාවේ සිටින සියළුම සමථ කරුවන් ගැන නොවේ බහුතර සමථකාරවරුන් පිරිසක් බොහෝවිට තම භුමිකාව  මැනවින් ඉටුකරමින් සිටී. කිරිකලයකට ගොම බිදක් වැටීමෙන් කිරි කලයම විනාශවන බව අමතක නොකළ යුත්තකි.

මෙය රටේ මහජනතාව වෙනුවෙන් ලියන ලද සටහනකි. රෙද්ද කරට ගෙන මව් පියන් සිහිපත් කිරිමට කැමත්තක් දක්වන අය ඒසේ කෙරුවාට අමනාපයක් නැත.

 

Saturday, 11 December 2021

අපරාධයක වින්දිතයන් සමථකරණයෙන් සුරැකෙයිද?

 

අපරාධයක වින්දිතයන් සමථකරණයෙන් සුරැකෙයිද?

    ලංකාවේ සමථ මණ්ඩල පිළිබඳව මගේ බ්ලෝග් පෝස්ට් කියවපු එක්තරා මහත්මයෙක් පසුගිය දිනක මට දුරකථන ඇමතුමක් මගින් කථා කළා. එතුමා කිව්වෙ එතුමාට වෙච්චි ඇබැද්දියක් ගැන. සමහර අවස්ථාවල ඉතා හැගුම්බරවත් තවත් අවස්ථාවක ඉතා ආවේගයකිනුත් කථා කළා. ඇත්තටම තුවාලෙ තියන එකාටයි තුවාලෙ වේදනාව දැනෙන්න කියන කථාව ඉතාමත් සාධාරණ කියමනක් බව මටත් මේ වෙලාවෙ හිතුණ. ඒත් අනුන්ගෙ තුවාල වල වේදනාව තේරෙන්නෙ කීයෙන් කී දෙනාටද? ඒ මනුෂ්‍යයගෙ තුවාලෙ වේදනාව චුට්ටක් හරි දැනුන නිසා තමයි මේ සටහන ලියන්න හිතුනෙ.

    අහපු කථාවෙ හැටියටනම් මෙතුමා මැදිවියත් පහුකරපු මහත්තයෙක්. වයසත් අනුව ආපු පොඩි පොඩි රෝග වගයක් නිසා මෙයා හවසට හවසට පාරදිගේ ඇවිදගෙන යන කෙනෙක්. දවසක් මෙයා ඇවිදින අතරෙ තරුණයන් දෙන්නෙක් ඩබල් දාගෙන ගිය පා පැදියක හැප්පිලා. හැප්පිලා කිව්වට ලොකු තුවාලයක් වෙලා නැහැ. අන්තිමේදි පොඩි කථාබහක් ඇතිවෙලා මේ කොල්ලො දෙන්න මේ වයසක මනුෂ්‍යයට පාරවල් කීපයක් ගහල. මෙතුමානම් කිව්වෙ බයිසිකලේ හැප්පුවෙත් උවමනාවෙන්මලු. මොකද මීට ටික දවසකට කලින් මෙතුමගෙ දුවට විහිලුවක් කරල මේ එක පිරිමි ලමයෙකුට මෙයා දොස් කියල තියනව. මෙතුමා කියන්නෙ ඒ කෝනතරේ තමයිලු උන් පිරිමැහැව්වෙ කියල.

    මේ පහර දීමට පස්සෙ මෙතුමා පොලිසියට ගිහිල්ල පැමිණිල්ලක් දාල. පැමිණිල්ල අනුව මේ ආරවුල ප්‍රෙද්ශයේ සමථ මණ්ඩලයට යොමු කලාලු. සමථ මණ්ඩලයට දෙපාරකුත් කැදවල ග්‍රාම සේවක මහත්තය මගින් පණිවිඩයකුත් ඇරල මේ ළමයි දෙන්න සමථ මණ්ඩලයට ඇවිල්ල නැහැ. සමථ මණ්ඩලයෙන් මෙතුමට ආරවුල විසදන්න බැහැ කියල ලියමනක් දීල. ඒක පිටපතක් පැමිණිල්ල යොමුකළ පොලිසියටත් යවනව කිව්වලු. ඒත් දැන් මාස අටක් විතර ගිහිල්ල වෙච්චි දෙයක් නැහැල්ලු. අර කොල්ලො දෙන්න දැන් ගේ ලගින් යනකොට හූ කියාගෙන යනව විතරක් නොවෙයිලු ගිරව, උඹ අපිට කළාද කියල විහිලුත් කරගෙන යනවලු. ඒ මනුෂ්‍යටය දැන් කරකියා ගන්න දෙයක් නැතිව  ඉන්නෙත් චුට්ටක් බයත් වෙලා.

    මෙවැනි කාරණා ගැන තවත් මේ තත්වයටම මූණ දීපු කීප දෙනෙක් හොයාගත්තේ සමථ මණ්ඩල පැවැත්වෙන තැනක දින දෙක තුනක් ලැග්ගට පස්සෙ.එයාල එක්කත් කථා කරපුවහම අර මහත්තයට වෙච්චි දේ බොරුවක් නෙමෙයි කියලයි හිතුණෙ. මේවගේ වරදක් සමථ මණ්ඩලයට යොමු කරල එතනත් මාස කීපයක් තිබිල ආපුහු වගඋත්තර කරුවන් ආවෙ නැහැ කියල පොලිසියට යොමු කරපුවහම පොලිසියටත් කරන්ඩ දෙයක් නැහැ කියලයි එක්තරා හිතවත් පොලිස් නිලදාරි මහත්තයෙක් කිව්වෙ. හැබැයි එයා ඒ පොලිසියෙ කෙනෙක් නෙමෙයි. ඒ කාලෙ අඩියක් පුඩියක් ගහන කොට සැට් වෙච්චි කෙනෙක්. එතුමට අනුව පොලිසිය සමථ මණ්ඩලයට යොමු කරල තියන නිසා ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න ඔනැ කාරණා ගොනු කරල නැහැලු. ඒක නිසා එවැනි වැරදි ගැන ගන්න ක්‍රීයා මාර්ගයකුත් ඒ වෙනකොට නැහැල්ලු. අර මහත්තයට වෙලා තියෙන්නෙත් ඔන්න ඔය සංගෙඩිය තමයි.

    සමථ මණ්ඩල වලට යොමුවන ආරවුල් වලට අදාල පාර්ශ්වකරුවන් එක් අයෙක් හෝ දෙපාර්ශවයට ඉදිරිපත් නොවීම නිසා බොහෝ නිරවුල් නොකිරීමේ සහතික නිකුත් කරනවලු.මේ අයට විරුද්ධව ගන්න ක්‍රීයාමාර්ගයක් නොමැති නිසා ඇත්තටම මහජනයා වෙතින් සමථ මණ්ඩල ඈත් වෙලා කියන එකනම් බොරුවක් නෙමෙයි.මේ තත්වයට වහාම නිසි නිත්‍යාණුකූල පිළියමක් යෙදුවෙ නැත්තනම් සමථ මණ්ඩල ගැන තියෙන මහජන විශ්වාෂය නැතිවෙනවයි කියන කාරණාව නම් ඉන්තේරුවෙන්ම කියන්ඩ පුළුවන්. උත්තරීතර සේවයක් කළ හැකි ආයතනයක් මෙලෙස විනාශ වෙන්ඩ දෙන එකනම් ලොකු අපරාධයක්. මේ සදහා කරුණු නිසි පරිද අධ්‍යානය කර සුදුසු පිළියම් යෙදීම අදාල බලධාරින්ගේ අවධානය යොමු වෙත්වා....

    මේ ගැන කරුණ සොයාබලන්ඩ පාර්ලිමේන්තු පණතකින් සංස්ථාපිත වින්දිතයන් ආරක්ෂාකිරීමේ අධිකාරියේ වෙබ් අඩවියටත් ගොඩ වුණා. මේ වෙබ් අඩවියේ පබ්ලික් කවුන්ටරයේ මහජන පැමිණිම් සටහන් වෙලා තිබුණෙ 01 යි. මේක හරිද මන්ද? කොහොම වුණත් මේ සියළු ආයතන මහජනතාවට එතරම් සමීප නැහැ කියන එකනම් කියන්ඩම වෙනව. උදේ ඉදල රෑ වෙනකල්ම තොරතෝංචියක් නැතිව කියවන, අපරාධ කරුවන් නිර්මාණයට අත හිත දෙන ටෙලිනාට්‍ය ප්‍රචාරය කරන ජනමාධ්‍යවල පුංචි ඉඩක් හරි  මේ වගේ ආයතනවලටත් තියනවනම් අපේ රටේ මහජනතාව කොතරම් වාසනාවන්තද?

    තවත් මොකක්හරි අලකලංචියක්  හොයාගෙන නැවත හමුවෙමු. කිසිවෙක් නොපරිදින හැමොටම ජය උරුම මාවතක් පහල වේවා. ආයුබෝ වේවා! ආවඩා !

 


Saturday, 19 December 2020

සමථ මණ්ඩල කටයුතු පිළිබද ජනතා අදහස් සහ උදහස්



සමථ මණ්ඩල ක්‍රමය පිළිබද අධ්‍යානයකදී වැදගත් බ්ලොග් සටහනක් හමුවිය.මෙම සටහනේ සදහන් කරුණු සමථකරණයේ යෙදෙන්නන්ටත් අදාල බලධාරින්ටත් මෙන්ම මහජනතාවටද එකසෛ් ප්‍රයෝජනවත් විය හැකි බැව් සිතන බැවින් එම සටහනේ කිසිදු කොටසක් පිටපත් කිරීමකින් හෝ උපුටා ගැනීමකින් තොරව ඒමෙන්ම මුල් අයිතිකරුට අගතියක් නොවන පරිදි සටහනේ සබැදිය මෙහි  ඵල කරමි. පහත සදහන් සැබදියෙන් ඔබට එම සටහන් බැලිය හැකි අතර එම සටහනේ ඇති සබැදිය මගින් අදාල නඩුතීන්දුවද පරිශීලනය කළ හැක.

Friday, 18 December 2020

සමථ මණ්ඩල වලට වැඩි බලතල

 


ලක්දෙරණ ප්‍රවාත්ති  මගින් ඉහත කාරණාවට අදාල ප්‍රවෘත්තියක් ටුවීටර් හරහා නිකුත් කර ඇත.https://t.co/PDcpet13qU?amp=1 මූල්‍ය ආරවුල් සහ වෙනත් ආරවුල් සදහා වෙනම සමථ මණ්ල පිහිටුවීමටත්, දැනට පවතින සමථ මණ්ඩල මසකට රැස්වෙන දින ගණන දින හතරේ සිට හය දක්වා වැඩි කිරීමටත් තීරණය කළ බව මෙම ප්‍රවෘත්තියේ දැක්වේ. සමථ මණ්ඩල වලට ලැබෙන ආරවුල් වලින් දළවශයෙන් 70% ක් පමණ මූල්‍ය ආරවුල් වන අතර ඉතිරි 30% ට ඉඩම් සම්බන්ධ ආරවුල්ද ඇතුළත් වේ. මේ අනුව ඉතිරි ආරවුල් ප්‍රමාණය දළ වශයෙන් 30% කට අඩු ප්‍රමාණයකි. මේ අනුව වත්මන් සමථ මණ්ඩල වලට සාකච්ඡා කිරීමට ඉතිරිවන්නේ දැනට ලැබෙන ආරවුල් ප්‍රමාණයෙන් 30% කටත් අඩු ප්‍රමාණයකි. මේ අනුව දැනට පවතින සමථ මණ්ඩල රැස්වෙන දින ගණන වැඩි කිරීම කාලෝචිත පියවරක් වන්නේද යන්න නැවත නැවතත් සිතා බැලිය යුත්තකි.

සමථ මණ්ඩලවල සමථ කාර වරුන් සහ සමථකාර වරියන් සමථ මණ්ඩල වල කටයුතු කරන්නේ ස්වේච්ඡා පදනමක් යටතේය. ඔවුන් මසකට දින හතරක් සමථ මණ්ඩල වලට පැමිණෙන්නේද ඉතාමත් කැප කිරීම් කරමිනි. සමථ මණ්ඩල පැවැත්වෙන්නේ බොහෝ අවස්ථාවල සෙනසුරාදා දින වලය. සෙනසුරාදා දින හතරට අමතරව තවත් දිනයක් යොදා ගන්නේ නම් අනිවාර්යයෙන්ම එය ඉරිදා දිනයක් විය යුතුය. ඉරිදා දිනය සමථ මණ්ඩල සදහා යොදා ගැනීමේදී ප්‍රායෝගික ගැටළු කීපයක් ඇතිවේ. ඉරිදා දිනය කතෝලික ජනතාවගේ සබත්  දිනයයි. ආගමික විධිවිධානයන්ට අනුව ඉරිදා දින නිවාඩු වලංගු විය යුතුය. තවද ඉරිදා දිනය ලංකාවේ දහම් පාසල් පැවැත්වෙන දිනයයි. දහම් පාසල් පැවැත්වෙන බැවින් එදින පාසල් ගොඩනැගිලි සමථ මණ්ඩල කටයුතු සදහා යොදාගත නොහැක.

සමථ  මණ්ඩල වලට ඉදිරිපත් වන ආරවුල් වලින් වැඩි ප්‍රමාණයක් සඳහා නිරවුල් නොකිරීමේ සහතික නිකුත් කිරීම සිදු වන්නේ පාර්ශ්ව කරුවන් සමථ සාකච්ඡා වලට නොපැමිණීම මතය. පැමිණිම බොහේවිට පැහැර හරින්නේ සමථ මණ්ඩල භාෂාවෙන් නොව පොලිසියේ සහ උසාවි භාෂව අනුව චූදිතයා නොහොත් විත්තිකරුවන්ය. මොවුන් සමථ සාක්ච්ඡා වලට ඉදිරිපත් නොවීම නිසා අගතියට පත් පාර්ශ්වයන්ට ඇතිවෙන සෙතක් නැත. සමථ මණ්ඩල කටයුතු බල ගන්වන්නේනම් මේ පිළිබදවද සුදුසු ක්‍රියා මාර්ගයක් සදහා අවධානය යොමු විය යුතුව ඇත. එවිට සමථ මණ්ඩල ක්‍රමය ජනතාව අතරට ගෙනයාමට වෙනත් ක්‍රියා මාර්ග අවශ්‍ය නොවන බව සටහන් කරුගේ අදහසයි

මෙම කාරණා ඉදිරිපත් කරන්නේ විවේචනයක් සදහා නොව සමථ මණ්ඩල කටයුතු වල ප්‍රගතිය සදහාම බව සඳහන් කළ යුතුමය. සටහන් කරු ලංකාවේ සමථ මණ්ඩලවල බිම් මට්ටමේ කටයුතු ගැන දීර්ඝකාලිනි අධ්‍යානයක යෙදී සිටී. සටහන්කරු ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ඉතාමත් විධිමත් මෙන්ම          සංවිධානාත්මක එමෙන්ම ඉතා ප්‍රායෝගික සහ ප්‍රයෝජනවත් ජනහිතකාමි ආරවුල් විසදීමේ ක්‍රමවේදයක් වන සමථ මණ්ඩල ක්‍රමයේ දියුණුව ඉත සිතින් පතන්නෙකි. මෙම සටහන උදහස සදහා නොව මදහස සදහාය. උදහසට ලක් නොවේවා යන්න සටහන් කරු බරපතල ලෙස අපේක්ෂා කරයි...

 

Sunday, 4 October 2020

දණ්ඩනීති සංග්‍රහය යටතේ වැරදි

 දණ්ඩනීති සංග්‍රහය යටතේ වැරදි

ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුවූ විට බොහෝ විට වරද කළ පුද්ගලයාත් වරදට බදුන් වූ පුද්ගලයාත් යන දෙදනාම පොලිසියේ පිහිට පතා යයි. වෙනත් විධියකින් කිව්වොත් ගහපු එකාත් ගුටිකාපු එකාත් යන දෙදෙනාම පොලිසි යති. මෙවැනි අවස්ථාවක පොලිසිය පළමුවෙන්ම කරන්නේ පාර්ශ්වයන් අතරසමාදානයක් ඇති කිරීමට උත්සාහ කිරීමයි. සමාදාන කරනවා කියන්නේ බොහෝ විට යම්කිසි බලයක් ඇති තැනැත්තෙකු විසින් තම බලපෑමකට කුමන ආකාරයකින් හෝ යටත්කරගත හැකි පුද්ගලයෙකුට බලහත්කාරයෙන් තින්දුවක් පැටවීමක් ලෙස සිතිය නොහැකිද? මේ හැර ස්වේච්ඡාවෙන් සමාදානය තෝරා ගන්නා අවස්ථාද නැත්තේ නොවේ මෙවැනි අවස්ථාවකදී වූවද දෙපාර්ශය සමාදාන වූ බවට පොතේ ලියා ආරවුල අවසන් කිරීම සාමාන්‍ය ක්‍රියාදාමයයි.මෙහිදී ආරවුල  ඇතිවීමට හේතුව කුමක්ද, පාර්ශ්ව කරුවන්ගේ උවමනාවන් මොනවාද ? ඒවා ඉටුකර ගන්නේ කෙසේද යන කාරණා ගැන අවධානය යොමු වන්නේ ඉතාමත් අල්ප වශයෙනි.

පොලිසියට පාර්ශ්ව කරුවන් අතර සමාදානයක් ඇතිකර ගැනීමට නොහැකි  වූ විට ආරවුල සමථ මණ්ඩලය වෙත යොමු කරයි.  සමථ මණ්ඩලයක් වෙත යොමුකරන ආරවුල් සමථ මණ්ඩල පණතේ දෙවන උපලේඛනයේ සදහන් වරදවල් සම්බන්ධයෙන් වන අතර ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇති වැරදි 28 ක් උක්ත පණතේ දෙවන උපලේඛනයේ සඳහන් වේ. මෙම වැරදි 28 යටතට ගැනෙන ඇතැම් ආරවුල්ද පොලිසිය විසින් ගරු අධිකරණයට යොමු කරන්නේ තුවාල කරුවන් සිටින අවස්ථාවලදී බව බොහෝවිට නිරික්ෂණය වී ඇත.මෙවැනි වැරදි බී වාර්තාවක් මගින් ගරු අධිකරණයට යොමු කරන අතර බොහෝ විට එම ආරවුල් ගරු අධිකරණය විසින් සමථ මණ්ඩලයක් වෙත යොමු කරනු ලැබුවද එවැනි ආරවුල් නිරතුරුවම ගරුඅධිකරණයේ අධීක්ෂණය යටතේ පවතී.මෙලෙස අධිකරණයට යොමු නොකරන ඉතිරි ආරවුල් සමථ මණ්ඩල වෙතට පොලිසිය විසින් යොමු කරනු ලබයි.

පොලිසිය විසින් සමථ මණ්ඩලවලට යොමුකරනු ලබන ආරවුල්වලට සම්බන්ධ පාර්ශ්වකරුවන් සමථ මණ්ඩලය වෙත කැදවන අතර සමථ කරුවන් විසින් එම ආරවුල සමථකරණ සංකල්ප සහ ශිල්පීය ක්‍රම උපයෝගි කර ගනිමින් නිරවුල් කළ යුතුය. සමථකාරවරුන් එසේ  කරන්නේද යන කාරණය වෙනම කාරණාවකි. එයද දීර්ග වශයෙන් සාකච්ඡාවට ලක්විය යුත්තකි. සමථ මණ්ඩලවලට යොමුකරනු ලබන මෙවැනි ආරවුල් වලට සම්බන්ධ පාර්ශ්ව කරුවන් කැදවීම අවසාන වශයෙන් කළ හැක්කේ ග්‍රාම නිලධාරි මගින් පමණි. ග්‍රාම නිලධාරින් මගින් මෙම ආරවුල් වලට අදාල පාර්ශ්ව කරුවන්  කැදවීම ගැටළු සහගත තත්වයක පවතී.සමහර ග්‍රාම නිලධාරින් මෙම රාජකාරිය මනාව ඉටුකරන අතර ඇතැම් ග්‍රාම නිලධාරින් මෙම රාජකාරිය නොසලකා හරියි. ග්‍රාම නිලධාරියෙකු විසින් ඉටුකළයුතු අධික වැඩ කන්දරාව මෙයට හේතු විය හැකිය.

අපි දැන් ගැටළුවේ මුව දොරට  පැමිණ සිටින්නෙමු. පාර්ශ්වකරුවන් සමථ මණ්ඩලවලට පැමිණිමට පැහැර හරින අවස්ථාවලදී කළ හැක්කේ කුමක්ද? ඔවුන් නොපැමිණි බවට සදහන් නිරවුල් නොකිරීමේ සහතිකයක් නිකුත් කිරීම පමණි. මෙම නිරවුල් නොකිරීමේ සහතිකය පොලිසිය වෙත ලැබුණු පසු ගත් ක්‍රියා මාර්ගයක් ගැන මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිසියටද එය අධිකරණයට යොමුකළ නොහැකි වන්නේ ඒ වනවිට මෙම ආරවුල සම්බන්ධ නඩුවක් ගොනු කිරීමට අදාල සාක්ෂි බොහෝ විට පොලිසිය විසින් ගොනුකර නොමැති බැවිනි. මේ අනුව අදාල ආරවුල පසක තැබීමට සිදුවේ. මෙයින් ආරවුල් කරුවන්ට සිදුවන සෙතක් නැත. මෙයින් අනාවරණය වන්නේ මහජනතාවගේ ආරවුල් විසදීමට පොලිසියත් සමථ මණ්ඩලත් අසමත් බව නොවේද? මෙම තත්වයට වහාම පිළියම් නොයෙදුවහොත් මහජනයා අතර සමථ මණ්ඩල පිළිබද ඇති විශ්වාෂය බිදී යනු ඇත. දැනටමත් මෙම තත්වය බොහෝ දුරට සිදුව ඇති බව තහවුරු වන්නේ පාර්ශ්වකරුවන්ගේ නොපැමිණිම මත නිරවුල් නොකිරීමේ සහතික නිකුත් කිරීම ඉතාමත්ඉහළ අගයකට පත්ව ඇති බැවිණි.

.

Friday, 20 October 2017

සමථ කරණයේ රහස්‍යභාවය..................

සමථ කරණයේ රහස්‍යභාවය..................
       සමථ මණ්ඩල පිළිබඳ ලිව්ව බ්ලොක් සටහනේ බොහෝ දේවල් ලිව්වත් තවත් විස බීජයක් ඊයෙ පෙරේද ඔළුවට වැටුණ. ඔන්න ඒ ගැන ලියන්ඩ තමයි අද සූදානම. ඉතින් ඒ සඳහා තරහා අවසර හොදේ.

අපේ ගෙදරට කිට්ටුව ගෙදරක උඩ තට්ටුවක් කුලියට අරගෙන ජෝඩුවක් ලඟකදි ඉදල ඇවිල්ල. සමහර දවස්වල  රෑට රෑට මේ ගේ පැත්තෙන් ඇහෙන ශබ්ධනම් එතරම් සුන්දර නැහැ. බැණ ගන්නව, ගහ ගන්නව, ඊට පස්සෙ ගෙදර බඩුත් පෙරෙලෙණ ශබ්ධ තමයි ඇහෙන්නෙ. වෙලාවකට දුකත් හිතෙනව. පව් අහිංසක ජෝඩුවක්නෙ. ඒ මදිවට පුංචි එකෙකුත් ඉන්නව. මේ වෙලාවට ඒකත් මර ලතෝනි දෙනව. කව්රුත් මේවට අතදාන්න යන්නෙ නැත්තෙ ඒව ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික ප්‍රශ්න නිසා.

දවසක් උදේම මේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ල.  ගෙදර ගෑණු එක්කෙනා පැමිණිල්ලක් දාලලු එයාට ගහල කියල. පොලිසියෙන් ඇවිල්ල ගියාට පස්සෙ මේ මනුෂ්‍යය බොහොම ලජ්ජාවෙන් වගේ තමයි හිටියෙ. ඒ මනුෂ්‍යය මාව දැකල කිව්ව බලන්ඩකො අයියෙ හරි වැඩක්නෙ. ඊයෙ අපේ නෝනත් එක්ක මම පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මම දන්නෙම නැතිව එයා පොලිසියට ගිහිල්ල. ගෙවල්වල තියන ප්‍රශ්ණ වලට පොලිසියට යන්ඩ ඕනැද කියල. ඕව ඉතින් ගොඩින් බේරාගන්ඩ කියල මමත් සේප් වෙලා යන්ඩ ගියා.   
                                        
ටික දවසකට පස්සේ මෙයා පොලිසියට ගිහිල්ල ඇවිල්ල කිව්ව අපේ කේස් එක සමථ මණ්ඩලයට දාල කියල. එයාට අදහසක් තිබුණෙ නැහැ සමථ මණ්ඩලය කියන්නේ  මොකක්ද කියල. මම කිව්ව මල්ලි ලජ්ජ වෙන්ඩ එපා ඔයාට තියන ඔක්කොම ප්‍රශ්ණ සමථ මණ්ඩලයේ මහත්වරුන්ට කියන්ඩ. ඒ අය  ඉතාමත් අපක්ෂපාති, බුද්ධිමත් ඔයාල දෙන්නටම එකග වෙන්ඩ පුළුවන් විසදුමක් ලබා ගන්ඩ උදව් කරයි කියල. එතකොට ඒ අය කිව්ව අපිට තියන ප්‍රශ්න කියන්ඩත් ලජ්ජයි කියල. මටනම් තේරුණා මේ අය මොකක්ද කියන්නෙ කියල. මම නැවතත් කිව්වෙ ලජ්ජ වෙන්ඩ එපා මල්ලි. ඒ අය ඔව කාටවත් කියන්නෙ නැහැ ඒ අයට නම් ඕව සාමාන්‍ය දේවල් කියල.

මෙ දෙන්න සමථ මණ්ඩලයට ගිහිල්ල නැවතත් අපේ ගෙදරට ආවෙ ඉතාමත්ම ආවේගශීලිව. ඒ ගොල්ලො කිව්ව සමථ මණ්ඩලේ තුන්දෙනෙක් අපේ ප්‍රශ්ණය ගැන කථා කළාට දහයක පහළොවක පමණ පිරිසක් වටවෙලා අහගෙන හිටියලු. ඒ මදිවට සමහර අය එයාල කියපුව රැකෝඩුත් කළාලු. ඒ නිසා හිතේ තිබිච්ච දේවල කියාගන්ඩත් බැරි වුණාලු. හරියට සෙනගත් හිටිය හින්ද එතැන හරියට කළබලලු. අන්තිමේදි උසාවියෙන් බේරාගන්ඩ කියල ලියුමක් දුන්නලු. මේක මහ හතර බීරි කථාවක් හින්ද මේ ගැන හොයල බලන්ඩ ටිකක් කල්පනා කළා කියමුකො. ඔන්න ඉතින් දන්න හඳුණන කීප දෙනෙකුගෙන්ම ඇහැව්ව මේ ගැන. ඒ ගොල්ලො කිව්වෙ එදා නීති විද්‍යාලයෙ ඉගෙන ගන්න ශිෂ්‍ය පරම්පරාවක් ආව කියල සමථ මණ්ඩලවල කටයුතු ගැන ඉගෙන ගන්න. එහෙම ආවනම් ඒ ගොල්ලො මොන කෙහෙම්ම මලකටද අවසරයක් නැතිවම මිනිස්සුන්ගෙ පුද්ගලික ප්‍රශ්න වලට හොට දාන්ඩ ගියේ. සමථ මණ්ඩල වල ඉන්න උදවියත් ඇයි ඒවට ඉඩ දුන්නෙ. ඒ අය බැදිල ඉන්නව නේද ඉතාමත් රහසිගත ලෙස පාර්ශ්වකාරයින්ගෙ ප්‍රශ්න වලට විසදුම් අරගෙන දෙන්ඩ. අඩුම ගානෙ මේ දෙගොල්ලන්ටම පාර්ශ්වකරුවන්ට කාරණය පැහැදිලි කරල දීල අවසරයක් ගන්ඩ තිබුණ. පවුල් ආරවුල් කියන ඒව ඉතාමත් රහසිගත දේවල්නෙ.  පුහුණුවට ආපු කට්ටියත් කවදහරි දවසක නීති වේදියො වෙලා මුදල් ලබාගෙන මහජනතාවට සේවය කරයි. සමථ මණ්ඩල වල නෝනා මහත්තුරුත් ලකුණු දා ගනියි. අර වගේ අහිංසක මිනිස්සු නන්නත්තාර වෙයි.

      මෙ ගැන තොරතුරු හොයාගෙන යන කොට එදා සමථ මණ්ඩලේ හිටිය මහත්තයෙක් කිව්ව ලස්සන කථාවක්. එදා පුහුණුවට ආව වෙන්ඩ නීතිවේදි මහත්තයෙක් කිව්වලු අපිට ඔනැ පුහුණුවක් නැහැ අවශ්‍ය අපි ආව කියල අත්සන ලබාගන්න විතරයි කියල. මේ කථාව ඇත්තනම් පළක් නැති දේකට අර මිනිස්සුන්ට කොච්චර අපරාධයක්ද වෙලා තියෙන්නෙ.

අපි ඇත්තකටම හිතමුකො සමථ මණ්ඩලවල කටයුතු ගැන කාටහරි ප්‍රායොගික පුහුණවක් ලබා ගන්ඩ අවශ්‍ය වුණා කියල. එහෙමයි කියල මිනිස්සුන්ගේ සැබෑ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ නැතිව එහෙම පුහුණුවක් ලබා දෙන්ඩ වෙනත් ක්‍රම ඇත්තෙම නැද්ද? පුහුණව ලබාගන්ඩ ආපු අය පාර්ශව කාරයො කරල ගැටළුවක් තෝරාගෙන සමථ මණ්ඩල වල නෝනා මහත්වරුත් සහභාගි කරගෙන සමථ මණ්ඩල හදල ඒ අයට ගැටළුව ඉදිරිපත් කරල පුහුණුව ලබාගන්ඩ කටයුතු කරනවනම් අර ඉස්සෙල්ල කිව්ව වගේ ප්‍රශන ඇති වෙන්නෙ නැහැ වගේම මිනිස්සු නන්නත්තාර වෙන්නෙත් නැහැ. මට නම් හිතෙන්නෙ ඒක වඩාත් ප්‍රායෝගිකයි කියල.

මෙම සටහන අදාල බලධාරින්ගේ අවධානයට යොමු වේවායි කියල පැතුවත් ඒවයින් නම් ඇති වැඩක් වෙන්නෙ නැහැ. මොකද මේ වගේ සටහනක් කියවල යමක් හිතන්ඩ තරම් නිහතමානි මිනිස්සු අප අතර ඇත්තෙත් නැහැ.එහෙම හිටියත් ඒ අයට මේ වගේ සටහන් බලන්ඩ පහසුකම් වගේම  දැනුමක් ඇත්තෙත් නැහැ. ඒවට ඉතින් මක් කරන්ඩද ? නැවත තවත් සටහනකින් හමුවෙනතුරු ආයුබොවන්...

සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......

  දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...