Sunday, 25 June 2017

සමථ කරණයේදි ගනු ලබන තීන්දු තීරණ..


උසාවියට ගියහම මොනවද වෙන්නෙ , සමථ මණ්ඩලේදි  මොනවද වෙන්නෙ කියන කාරණා ගැන තොරතුරු ටිකක් පෙර සටහන් වල ලියල තිබ්බට ඒ සටහන අවසානයකින් තොරව අවසන් කරන්ඩ සිද්ධ වුණේ සටහන දිග වැඩි වෙන නිසා. සමථ කරණයේදි වෙන්නේ පාර්ශ්ව කරුවන් විසින් තීන්දු තීරණ ගැනීමක් කියල අපි හැම තිස්සෙම කිව්ව. මෙහෙම ගන්න තීරණය පාර්ශ්ව කරුවන්ගේ අවශ්‍යාතා ඉටුවන දෙපාර්ශ්වයම එකග වෙන සුහදශීලි විසදුමක් විය යුතු බවත් කිව්ව. තමන්ගෙ ආරවුල ගැන මේ වගේ ගිවිසුමකට එකග වුණොත් සමථ මණ්ඩලය විසින් නිරවුල් කිරීමේ සහතිකයක් නිකුත් කළ යුතුයි. මෙම නිරවුල් කිරීමේ සහතිකයේ ආරවුල විසඳා ගැනීම සඳහා ඇතිකරගත් කොන්දේසි සඳහන් විය යුතුයි. මෙම වාර්තාවට සියළුම් පාර්ශ්ව කරුවන් මෙන්ම සමථ මණ්ඩලයේ ප්‍රධාන සමථකාර වරයා ඇතුළු සමථකාර වරුන් තිදෙනාම අත්සන් තැබිය යුතු වෙනව. මෙසේ පිළියෙල කරගත් වාර්තාව පාර්ශ්ව කරුවන්ට නිකුත් කළ යුතු අකර එහි පිටපත්, මෙම ආරවුල යොමුකළ පොලිසියටත් ගරු අධිකරණයටත් යැවිය යුතුයි.

         නිරවුල් කිරීමේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වූ විට අධිකරණය විසින් ආරවුල් කරුවන්ට දැනුම් දීමෙන් පසු ඒ නිරවුල් කිරීම අනුව තීන්දු ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවයි සමථ මණ්ඩල පණතේ 11(2) හි සදහන් වන්නේ. එහෙත් දැනට ක්‍රියාත්මක වන ක්‍රමය වන්නේ ඊලග නඩු දිනයේදි පාර්ශ්ව කරුවන් අධිකරණයට ඉදිරිපත් විය යුතු බවට උපදෙස් දීමයි. මෙයින් සමථකරණ ක්‍රියාවලියට යම් සීමාවකින් බාධාවක් පැමිණෙන බවයි සටහන්කරුගේ අදහස වෙන්නෙ.  ආරවුලක් සම්බන්ධයෙසන් මණ්ඩලයක් පිහිටුවීමෙන් දින 60 ක් ඇතුළත සහ වරදක් සම්බන්ධයෙන් මණ්ඩලයක් පිහිටුවීමෙන් දින 30 ක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කළ යුතුය යන සමථ මණ්ඩල පණතේ 13  වගන්තියේ නියමයට ඇතැම් අවස්ථාවල උසාවියෙන් නියමකරන දින වකවානු නොගැලවීම මත මෙම බාධාව සිදුවන බව පෙන්වා දෙන්ඩ පුළුවන්.

        මේ ආකාරයෙන් සමථ මණ්ඩල පණතේ දෙවන උපලේඛනයේ සදහන් වරදක් නිරවුල් කරන ලද විට ර් වරද 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පණතේ අර්ථානුකූලව සහ එහි කාර්යය සදහා  සමථය කරනු ලැබු ලෙස සළකනු ලැබිය යුතුය යන්න 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පණතේ 18 වන වගන්තියේ සදහන් වෙනව. 

     මෙම සමථ කිරීමේ කාර්යය මුදල් සහ කාලය ඉතුරුකරන,  දුක්ගැනවිල්ලේ හේතුව ඉවත් වීම නිසා දෙපාර්ශවයටම සතුටු විය හැකි ,පාර්ශවයන් අතර පෙර තිබූ සම්බන්ධතාව යලි ගොඩනැගෙන ඉතා වැදගත් ක්‍රියාවලියක් හැටියට තමයි කවුරුත් පිළිගන්නේ.

      ඉහත සදහන් පරිදි පාර්ශ්ව කරුවන් විසින් ගනු ලබන තීන්දු තීරණ මත යම් සමථ වීමක් සිදු වුවහොත් එම සමථය උල්ලංගණය වීමට ඇති ඉඩ ප්‍රශ්ථා ඉතා අඩුයි. නමුත් සමථ කරුවන්ගේ  එකගතාවෙන් තොරව ඇතැම් අවස්ථාවල බලහත්කාරයෙන් පටවන තීන්දුත් සමථ මණ්ඩලවලින් දීපු අවස්ථා ඇති බව අප විසින් කරන ලස සමික්ෂණ තුලින් අනාවරණය වෙලා තියනව. තමුන් නඩුකාරයොයි හිතාගෙන ඉන්න සමථකරණ මූල ධර්ම උල්ලංකණය කරන සමථකාර වරුන් හිටියොත් නම් සමථකරණයට දෙයියන්ගෙම පිහිට තමයි. සමථ මණ්ඩල තුළ පවත්නා මෙවැනි ගැටළු පිළිබව වෙනම සටහනකින් සාකච්ඡා කරන්ඩ බලාරෛාත්තු වෙනව.

     නිරවුල් කිරීමේ සහතිකයක් ගරු අධිකරණයට ඉදිරිපත් වන දිනයේදි පාර්ශ්වකරුව්න් විසින් නීතිඥ සහාය අවශ්‍ය නොවන බව උසාවියේ කටයුතු කරන පොලිස් නිලධාරි මහතෙකු විමසන අවස්ථාවෙදි දැනගන්ඩ ලැබූ දෙයක්. මෙම වාර්තාව උසාවි පොලිස් නිලධාරි තුමා හරහා අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවයි එතුමා වැඩි දුරටත් කිව්වේ. 

     අපි ඊලග දිනයෙදි බලමු සමථ මණ්ඩලයකට යම් ආරවුලක් නිරවුල් කරන්ඩ බැරි වුණොත් මොකද වෙන්නෙ කියල. ඉතින නැවත හමුවෙන තුරු ආයුබෝවන්.

.

No comments:

Post a Comment

සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......

  දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...