Sunday, 4 October 2020

දණ්ඩනීති සංග්‍රහය යටතේ වැරදි

 දණ්ඩනීති සංග්‍රහය යටතේ වැරදි

ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුවූ විට බොහෝ විට වරද කළ පුද්ගලයාත් වරදට බදුන් වූ පුද්ගලයාත් යන දෙදනාම පොලිසියේ පිහිට පතා යයි. වෙනත් විධියකින් කිව්වොත් ගහපු එකාත් ගුටිකාපු එකාත් යන දෙදෙනාම පොලිසි යති. මෙවැනි අවස්ථාවක පොලිසිය පළමුවෙන්ම කරන්නේ පාර්ශ්වයන් අතරසමාදානයක් ඇති කිරීමට උත්සාහ කිරීමයි. සමාදාන කරනවා කියන්නේ බොහෝ විට යම්කිසි බලයක් ඇති තැනැත්තෙකු විසින් තම බලපෑමකට කුමන ආකාරයකින් හෝ යටත්කරගත හැකි පුද්ගලයෙකුට බලහත්කාරයෙන් තින්දුවක් පැටවීමක් ලෙස සිතිය නොහැකිද? මේ හැර ස්වේච්ඡාවෙන් සමාදානය තෝරා ගන්නා අවස්ථාද නැත්තේ නොවේ මෙවැනි අවස්ථාවකදී වූවද දෙපාර්ශය සමාදාන වූ බවට පොතේ ලියා ආරවුල අවසන් කිරීම සාමාන්‍ය ක්‍රියාදාමයයි.මෙහිදී ආරවුල  ඇතිවීමට හේතුව කුමක්ද, පාර්ශ්ව කරුවන්ගේ උවමනාවන් මොනවාද ? ඒවා ඉටුකර ගන්නේ කෙසේද යන කාරණා ගැන අවධානය යොමු වන්නේ ඉතාමත් අල්ප වශයෙනි.

පොලිසියට පාර්ශ්ව කරුවන් අතර සමාදානයක් ඇතිකර ගැනීමට නොහැකි  වූ විට ආරවුල සමථ මණ්ඩලය වෙත යොමු කරයි.  සමථ මණ්ඩලයක් වෙත යොමුකරන ආරවුල් සමථ මණ්ඩල පණතේ දෙවන උපලේඛනයේ සදහන් වරදවල් සම්බන්ධයෙන් වන අතර ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇති වැරදි 28 ක් උක්ත පණතේ දෙවන උපලේඛනයේ සඳහන් වේ. මෙම වැරදි 28 යටතට ගැනෙන ඇතැම් ආරවුල්ද පොලිසිය විසින් ගරු අධිකරණයට යොමු කරන්නේ තුවාල කරුවන් සිටින අවස්ථාවලදී බව බොහෝවිට නිරික්ෂණය වී ඇත.මෙවැනි වැරදි බී වාර්තාවක් මගින් ගරු අධිකරණයට යොමු කරන අතර බොහෝ විට එම ආරවුල් ගරු අධිකරණය විසින් සමථ මණ්ඩලයක් වෙත යොමු කරනු ලැබුවද එවැනි ආරවුල් නිරතුරුවම ගරුඅධිකරණයේ අධීක්ෂණය යටතේ පවතී.මෙලෙස අධිකරණයට යොමු නොකරන ඉතිරි ආරවුල් සමථ මණ්ඩල වෙතට පොලිසිය විසින් යොමු කරනු ලබයි.

පොලිසිය විසින් සමථ මණ්ඩලවලට යොමුකරනු ලබන ආරවුල්වලට සම්බන්ධ පාර්ශ්වකරුවන් සමථ මණ්ඩලය වෙත කැදවන අතර සමථ කරුවන් විසින් එම ආරවුල සමථකරණ සංකල්ප සහ ශිල්පීය ක්‍රම උපයෝගි කර ගනිමින් නිරවුල් කළ යුතුය. සමථකාරවරුන් එසේ  කරන්නේද යන කාරණය වෙනම කාරණාවකි. එයද දීර්ග වශයෙන් සාකච්ඡාවට ලක්විය යුත්තකි. සමථ මණ්ඩලවලට යොමුකරනු ලබන මෙවැනි ආරවුල් වලට සම්බන්ධ පාර්ශ්ව කරුවන් කැදවීම අවසාන වශයෙන් කළ හැක්කේ ග්‍රාම නිලධාරි මගින් පමණි. ග්‍රාම නිලධාරින් මගින් මෙම ආරවුල් වලට අදාල පාර්ශ්ව කරුවන්  කැදවීම ගැටළු සහගත තත්වයක පවතී.සමහර ග්‍රාම නිලධාරින් මෙම රාජකාරිය මනාව ඉටුකරන අතර ඇතැම් ග්‍රාම නිලධාරින් මෙම රාජකාරිය නොසලකා හරියි. ග්‍රාම නිලධාරියෙකු විසින් ඉටුකළයුතු අධික වැඩ කන්දරාව මෙයට හේතු විය හැකිය.

අපි දැන් ගැටළුවේ මුව දොරට  පැමිණ සිටින්නෙමු. පාර්ශ්වකරුවන් සමථ මණ්ඩලවලට පැමිණිමට පැහැර හරින අවස්ථාවලදී කළ හැක්කේ කුමක්ද? ඔවුන් නොපැමිණි බවට සදහන් නිරවුල් නොකිරීමේ සහතිකයක් නිකුත් කිරීම පමණි. මෙම නිරවුල් නොකිරීමේ සහතිකය පොලිසිය වෙත ලැබුණු පසු ගත් ක්‍රියා මාර්ගයක් ගැන මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිසියටද එය අධිකරණයට යොමුකළ නොහැකි වන්නේ ඒ වනවිට මෙම ආරවුල සම්බන්ධ නඩුවක් ගොනු කිරීමට අදාල සාක්ෂි බොහෝ විට පොලිසිය විසින් ගොනුකර නොමැති බැවිනි. මේ අනුව අදාල ආරවුල පසක තැබීමට සිදුවේ. මෙයින් ආරවුල් කරුවන්ට සිදුවන සෙතක් නැත. මෙයින් අනාවරණය වන්නේ මහජනතාවගේ ආරවුල් විසදීමට පොලිසියත් සමථ මණ්ඩලත් අසමත් බව නොවේද? මෙම තත්වයට වහාම පිළියම් නොයෙදුවහොත් මහජනයා අතර සමථ මණ්ඩල පිළිබද ඇති විශ්වාෂය බිදී යනු ඇත. දැනටමත් මෙම තත්වය බොහෝ දුරට සිදුව ඇති බව තහවුරු වන්නේ පාර්ශ්වකරුවන්ගේ නොපැමිණිම මත නිරවුල් නොකිරීමේ සහතික නිකුත් කිරීම ඉතාමත්ඉහළ අගයකට පත්ව ඇති බැවිණි.

.

No comments:

Post a Comment

සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......

  දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...