Sunday, 25 June 2017

සමථ මණ්ඩලේදි මොනවද වෙන්නෙ ?


අපි කලින් දවසේ සටහනකින් උසාවිය සහ සමථ මණ්ඩලය ගැන කථා කරගෙන ඇවිල්ල සමථ මණ්ඩලයේදි මොනවද වෙන්නේ කියන කාරණය වෙනත් සටහනකින් කථා කරන්ඩ පොරෝන්දු වුණා මතක ඇති.  අපි අද බලමු සමථ මණ්ඩලයේදි මොනවද වෙන්නේ කියල.

සමථ මණ්ඩලයකට ආරවුලක් හෝ වරදක් පිළිබඳ කාරණාවක් යොමු කළහම නිත්‍යාණුකූල මාර්ග වලින් ආරවුල් කරුවන් අතර සුහද නිරවුල් කිරීමක් ඇති කිරීම  පිණිස උත්සාහ කිරීමද, ඔවුන්ගේ කැමැත්ත ඇතිව සහ ක්‍රියාත්මක කළ හැකි සෑම අවස්ථාවකදීම ඒ ආරවුල හෝ වරද නැවත ඇතිවීම වැලැක්වීම පිණිස ඔව්න්ගේ දුක්ගැනවිල්ලේ නියම හේතුව ඉවත් කිරීමද සමථ මණ්ඩලයෙන් අපේක්ෂත කාර්යය බව සඳහන් කළා

අපි දැන් බලමු සමථ මණ්ඩලයෙන් අපේක්ෂිත කාර්යය කිරීමට ගත හැකි සහ ගනු ලබන ක්‍රියා මාර්ගයන් මොනවද කියල. අපි කලින් සටහනකින් කිව්ව උසාවියෙදි තීන්දු තීරණ ගන්නෙ සාක්ෂි මත කියල. සමථ මණ්ඩලවලටත් බලගතු සාක්ෂියක් අවශ්‍ය වෙනව. අන්න ඒකට තමයි කියන්නේ හෘදයසාක්ෂිය කියල. ඒ කියන්නෙ යම් ආරවුලක් හෝ වරදක් ඇතිවුණේ කොහෙමද කියල හොඳටම දන්නෙ පාර්ශව කාරයො. ඒ නිසා ඒගොල්ලො ආරවුල පිළිබඳ සියළුම කාරණා සත්‍ය ලෙසත් අවංක ලෙසත් ප්‍රකාශ කළයුතු වෙනව. මෙහිදී අනෙක් පාර්ශ්ව කාරයා ඉවත්කරල තනිවම තම ප්‍රකාශය කිරීමට ඉඩ සළසා දෙන ලෙස ඉල්ලීමක් කරන්ඩත් පුළුවන්. හැබැයි එහෙම ඉල්ලීමකට ඉඩ දුන්නහම ඒ වගේ තනිව සාක්ච්ඡා කිරීමේ අයිතිය අනෙක් පාර්ශවයටත් අනිවාර්යයයෙන්ම ලබා දිය යුතුයි. පාර්ශ්ව කරුවන්ගේ ප්‍රකාශ බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළාසා දීම සමථ මණ්ඩලයේ කාර්යය භාරයක් මෙන්ම වගකීමක්.

මෙම අවස්ථාවේදි සමථ මණ්ඩලයේ මහත්වරුන් සහ නෝනාවරුන් සතු විය යුතු කුසලතාවන් මෙන්ම ඔවුන් අතින් ඉටුවිය යුත් යුතුකම්ද රාශියක් තියනව. මනා සංනිවේදන කුසලතාවයක්, නිවුණු සිතක්, පූර්ව නිගමනයන්  ඇති කර නොගැනීමේ හැකියාව, සංවේදි නොවීම, අපක්ෂපාත වීම, තමා පිළිගන්නා වටිනාකම් ඉස්මතු නොවීමට ඉඩ නොදීම,  වැනි කුසලතාවන් අනිවාර්යයෙන්ම සමථකාර වරුන් සතු විය යුතුයි. ඒ වගේම සමථකාර වරුන් විසින් නොකළයුතු දේත් රාශියක් තියනව. විවේචනය කිරීම, අගය කිරීම, ප්‍රශංසා කිරීම,තමන් සතු විෂයය මූලික දැනුම ඉස්මතු නොකිරීම, අනවශ්‍ය තර්ක ඉදිරිපත් කිරීම, සාකච්ඡාව වෙනත් අතකට හැරවීම, උපදෙස් දීම, තීන්දු තීරණ දීම, හොඳ නරක කියා දීම,  වගේ කාර්යයන් සමථ කාර වරැන් හෝ වරියන් විසින් නොකළ යුතුයි යන්න තමයි පිළි ගැනීම. තවද සමථකාර වරුන් සතු විය යුතු ගුණාංගයන් අතර ක්‍රියාකාරි සවන්දීමේ හැකියාව අති විශේෂයි. ඒ වගේම පාර්ශ්ව කරුවන්ගේ උවමනාවන් හොඳින් අවබෝධකරගෙන එම උවමනාවන් ඉටුවන පරිදි දෙපාර්ශවයම එකඟ වෙන සුහදශීලි විසදුමකට යාමට හැකිවන පරිදි පාර්ශව කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ස්ථාවරයන් වෙනුවට විකල්ප ඔවුන් තුළින්ම ජනනය කර ගැනීමේ කුසලතාව සමථ කාර වරුන් සතු විය යුතුයි.

ඔබ සමථ මණ්ඩලයකට ගිය අවස්ථාවක ඉහත සඳහන් දේවල් ඔබ අත් දුටුවාද නැතිනම් සමථ කාර වරුන්ගේ ආධිපත්‍ය තුළ ඔබට කටයුතු කිරීමට සිදු වුණාද යන්න සිතා බැලීම ඔබට භාරයි.
            අපි කලින් කිව්ව පාර්ශ්ව කරුවන්ගේ අවශ්‍යතාවන් මත ඔවුනට අවශ්‍යනම් තනි තනිව අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාගත හැකියි කියල. ඒ වගේම සමථකාර වරුන්ටත් අවශ්‍යයැයි සිතුනොත් පාර්ශ්ව කරුවන් තනි තනිව ගෙන සාකච්ඡා කිරීමේ අයිතිය තියෙනව. කොහොම වෙතත් එක් පාර්ශ්වයක් සමඟ තනිව කථා කළොත් අනිත් පාර්ශ්වය සමඟත් තනිව කථා කළ යුතුයි.

        ආරවුල ඇතිවුණේ කොහොමද කියන එක දන්නෙ පාර්ශව කාරයො වගේම මෙම ආරවුල විසදීමට අවශ්‍ය හොඳම විසදුම තියෙන්නෙත් ඔවුන් වෙත කියන එක සමථකාර වරුන් විසින් අමතක නොකළ යුතුයි කියල තමයි සටහන් කරු කල්පනා කරන්නෙ. නමුත් ඔවුන් වෙත ඇති හොඳම විසදුම ආවේගශීලිත්වය, නම්බුව, නම්‍යශීලි නොවීම, මාන්නය වෙනත් අයවලුන්ගේ බලපෑම,වැනි කාරණා මත වැහිල තියෙන්ඩ පුළුවන්. මෙහෙම වැහිල තියෙන හොඳම විසදුම ඉස්මතු කර ගැනීමේ කුසලතාව සහ දක්ෂතාව සමථකාර වරුන් සතු විය යුතු බව පුනා පුනා ප්‍රකාශ කරන්නෙ එය ඉතා වැදගත් නිසයි.

        සමථ මණ්ඩල සාකච්ඡා තුළදී පාර්ශ්වකාරයින් ආවේගශීලි වීම නිසා  ගහ මරා ගත්තු අවස්ථාත් තියනව. මෙවැනි දේවල් හැකිතාක් දුරට පාලනය කර ගැනීමේ හැකියාවත් සමථකාර වරුන් සතු විය යුතුයි. අවවාද කිරීම තරවටු කිරීම වෙනුවට සාකච්ඡාව අතරතුර විරාමයක් ලබා දීම වාගෙ දේවල් කරන්ඩ පුළුවන්.ඒත් මෙම කාරණා සියයට සියයක්ම පාලනය කිරීමට සමථකාර වරුන් දෙවිවරුත් නොවෙයි.

       මෙම සටහනින් කිව යුතු දේ බොහෝ වෙතත් සටහන දිගු වැඩි වෙන බැවින් අදට නවතිනව. අපි නැවතත් බලමු සමථ මණ්ඩල සාකච්ඡාවකදි ගනු ලබන තීන්දු තීරණ සහ අවසන් නිගමනයන් මොන වගේද කියල. නැවත හමුවෙන තුරු සැමට ආයුබෝවන්....

No comments:

Post a Comment

සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......

  දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...