Thursday, 22 June 2017

සමථ මණ්ඩල සාකච්ඡාවකදී නීතිඥ සහාය ලබාගත හැකිද


සමථ මණ්ඩල සාකච්ඡාවකදී නීතිඥ සහාය ලබා ගත නොහැක. ඒ පිළිබඳ 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පණතේ 15 වන වගන්තියේ මෙසේ සඳහන් වේ.

      මණ්ඩලයක් ඉදිරියේ වූ යම් කරුණකදී යම් ආරවුල් කරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමට නිතිඥ වරයෙකුට හෝ අනුයෝජතයෙකුට හෝ වෙනත් තැනැත්තෙකුට හිමිකමක් නොතිබිය යුතු අතර ඒ සඳහා අවසර නොදිය යුතු වේ. එසේ වූවද මණ්ඩලයක් ඉදිරියෙහි එක් කලත්‍රෙයකු විසින් අනෙක් කලත්‍රයා හෝ තම මව හෝ පියා හෝ දේපල ආරක්ෂක විසින් බාල වයස් කාරයෙකු හෝ යම් අබලතාවයකින් පෙළෙන වෙනත් තැනැත්තෙකු  නියෝජනය කරනු ලැබීමට අවසර දිය යුතුය.

     මෙම බ්ලොක් සටහනේ සටහන් කරුටද අවස්ථා දෙකකදි සමථ මණ්ඩලයක් ඉදිරියට යාමට සිදුවිය. ඒ සමථ මණ්ඩල කෙරුවාව ගැන මෙලෝ හසරක දැනීමක් නොතිබුණු දින වලය. එදා සිදුවු දේවල් ගැන හිතන කොට සමථ මණ්ඩල පණතේ 15 වගන්තියේ සඳහන් නියෝජනය පිළිබදව යමක් නොලියාම බැරිය.

     මා පළමු වරට සමථ මණ්ඩලයක් ඉදිරියේ පරික්ෂණයකට ගියේ යතුරු පැදියෙන් පාරේ යමින් සිටියදි බීමත් පුද්ගලයින් කීප දෙනෙකු අතින් ගුටි කෑමට සිදුවූ නිසාය. මේ සිද්ධියේදි මා කිසිදු වරදක් නොකළ අතර ආරවුල ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ මා කිසි දිනකත් අදුනාගෙන නොසිටි අනෙක්ත් පාර්ශවයේ තිදෙනෙකුගේ බීමත් කම පමණි. මෙදින සමථ සාකච්ඡාව සඳහා මා මගේ සහොදරයාද නීතිවෙදියෙකු වන මගේ මිතුරෙකුද සමඟ සමථ මණ්ඩලයට ගියෙමි. මා වෙනුවෙන් පත්කළ සමථ මණ්ඩලයේ ප්‍රධානියා විසින් පැමිණිල්ලේ ඇත්තේ මගේ නම පමණක් බැවින් මගේ සහෝදරයාද නීතිඥ මිතුරාද සාකච්ඡාවෙන් ඉවත් කරන ලදී. එදින ඒ ගැන මා කිසිවක් නොසිතුවේ එය නීතියට එකග බැවිනි.

     දෙපාර්ශවය සුහදශීලි ලෙස සමථයට පත්කර ගැනීමට මෙම මණ්ඩලයේ සාමාජික මහත්වරුන් විසින් ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ අතර අවසානයේදි මගේ යතුරු පැදියට සිදුවු අලාභය වෙනුවෙන් රුපියල් පන්දහසක මුදලක් තම කැමැත්තෙන් එදිනම ලබා දීමට මගේ විරුද්ධ පාර්ශ්වය විසින් කටයුතු කරන ලදී. ඉතාමත් සුහද ශීලි අයුරින් මෙම සාකච්ඡාව නිම වූ අතර මම මගේ විරුද්ධ පාර්ශවයටද ස්තුති කර පිටව ආවෙමි. එතනදී මතුවූයේ නීතිමය කරුණු නොව අපගේ අවශ්‍යතාවන් පිළිබඳ කරුණු වන අතර මෙම සාකච්ඡා සඳහා නීතිය පිළිබඳ දැනුමක් හෝ නීතිඥ වරයෙකුගේ සහය හෝ අවශ්‍ය නොවන බව මට අවධාරණය විය.

   දෙවන අවස්ථාවේදි මුදල් පොලියට දෙන ආයතනයකින්  ලබාගත් ණය මුදලක් ගෙවා ගැනීමව අපහසු වීම නිසා මා සමථ මණ්ඩලය ඉදිරියට කැඳවන ලදී. මෙහදි එම ආයතනය වෙනුවෙන් නියෝජත මහතෙකු පැමිණි සිටි අතර ඔහු එම ආයතනයේ සේවකයෙකුද නොවීය. ඔහු කොන්ත්‍රත් පදනම මත ණය එකතු කර දෙන බල පුළුවන් කාරයෙකු විය. ඔහු විසින් වාරික තුනකින් ණය මුදල ගෙවන ලෙස බලකර සිටි අතර මා පවසා සිටියේ වාරික 12 කින් ගෙවිය හැකි බවයි. ඔහුට මේ පිළිබඳ තීරණයක් දීමට නොහැකි බැවින් ඔහුගේ සේවා යෝජකයින් විමසා පිළිතුරක් ලබා දීමට මා නැවත වරක් කැඳවන ලදි. එදින පැමිණ සිටියේ වෙනත් පුද්ගලයෙකු බැවින් කලින් පැමිණි පුද්ගලයා ඊලග දිනයේදි පැමිණෙන බව පවසා මා නැවතත් දිනක කැඳවන ලදී. එදින ඔහු පැවසුවේ අදාල ආයතනයේ කා්යාලයට පැමිණ සාකච්ඡාකර මුදල් ගෙවීමට කටයුතු කරන ලෙසයි. මා දින තුන්ක් සමථ මණ්ඩලයට ගියත් කිසිදු තීරණයක් නොලැබුණි.

         මෙම අවස්ථාවේදී මට බොහෝ විට  හිතුණේ සමථ මණ්ඩල පෙනී සිටින්නේ අදාල මූල්‍ය ආයාතනයේ ණය එකතුකර දෙන්නෙක් ලෙසද යන්නයි. වාරික තුනකින් ණය මුදල ගෙවා දමන ලෙස ණයකාර ආයාතනයේ නියෝජිතයා පවසා සිටින විට එවැන්නක් මට කළ හැකිද යන්න  පිළිබඳ සොයා බැලීමට සමථ මණ්ඩලයේ කිසිවෙකුවත් උත්සාහ නොකරන ලදී. ඔරොත්තු නොදොන ණය වාරිකයක් ගෙවිය යුතු බවට මතයක් ඉදිරිපත් වන විට ණය කරුට, විශේෂයෙන් ණය කරුගේ පවුලේ සාමාජිකයන්ට සිදුවන බලපෑම පිළිබඳ විමසා බැලීමට තරම්වත් හැගීමක් සමථකාර මහත්වරුන්ට නොතිබුණි.සමථ කරණයකට එළඹීමේදි අදාල තීරණයට බලපාන ආනුෂංගික කරුණු ගැන අවධානය යොමු කිරීම සමථ කරණ මූල ධර්මයක් නොවන්නේද යන්න සිතා බැලිය යුතු යම් ආරවුලක් සමථ මණ්ඩලයක් ඉදිරියට යොමු කරන්නේ අදාල පාර්ශ්ව කරුවන්ට එම ආරවුල විසදා ගැනීමට නොහැකි බැවිණි. සමථ මණ්ඩලය ඉදිරියේ සාකච්ඡා වෙමින් පවතින කාරණයක් සම්බන්ධව අදාල ආයතනයට ගොස් කථාකරන ලෙස දැන්වීම විහිළුවක් නොවන්නේද ?

     මෙම සටහන ලියන අවස්ථාවේදි මෙම කරුණු දෙක ගැන සිතා බලන ලද අතර දෙවන අවස්ථාවෙදි සමථ මණ්ඩල පණතේ 15 වන වගන්තිය උල්ලංගණය වී ඇති බව පැහැදිළි වේ. නීතිය ඉදිරියේදි ව්‍යවස්ථාපිත ආයතනයක් හෝ සමාගමක් වැනි නෛතික පුද්ගලයෙකු හැර අනෙකුත් සියළුම ආයතන සළකනු ලබන්නේ පුද්ගලික ආයතන වශයෙනි. පණතේ විධි විධාන අනුව එවැනි අයට නියෝජනයක් ලබා දෙන්නේ කුමන බලතල යටතේද යන්න පැහැදිලි නැත. මෙම සටහන් ලිවීමට කරුණු එකතු කරන අදටද ලංකාවේ සමථ මණ්ඩල වල තත්වය මෙයයි. එක්තරා පුද්ගලික පාසලකට ශිෂ්‍යයින්ගෙන් අයවිය යුතු මුදල් එකතු කිරීමට ප්රෙදේශයේ  බල පුළුවන් කාරයෙකුට පවරා තිබුණි. ඔහු විසින් පොලිසියේද පෙරකී ආයතනය නමින් පැමිණිළි දමා සමථ මණ්ඩලය ඉදිරියේද පෙනි සිට තිබුණි. සමථ මණ්ඩලයක් ඉදිරියේ නෛතික පුද්ගලයා යනු කවරෙක්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් සමථ මණ්ඩල පණතේ නැත.

        බැංකු සහ මූල්‍ය ආයතන වලින් පැමිණෙන නියෝජතයින්ට අදාල ආයතන වලින් නිසි නිත්‍යාණ්කූල බලය පැවරීමක් කර නැත. එම ආයතන වෙනුවෙන් හිතූ හිතූ පුද්ගලයින් සමථ සාකච්ඡා වලට පැමිණේ. මෙලෙස පැමිණෙන බොහෝ පුද්ගලයින් කිසිදු තීරණයක් ගැනීමට හැකියාවක්  නැති යටත් සේවකයේ වෙති.

     එක්තරා අවස්ථාවක තමා යටතේ සිටින සේවිකාවක් බිය ගන්වා ඇය ගොළු අයෙක් බවද ඔහු ඇයගේ බාරකරු බවද පවසා දෙවන පාර්ශවකරුගේ මිතුරෙකු පළමු පාර්ශව කාරිය වෙනුවෙන් පෙනී සිට ඇත. මෙම අවස්ථාවෙදි ඇයගේ අබලතාව සනාථ කිරීමට විධිමත් සාක්ෂි හෝ අදාල පුදුගලයා ඇයගේ නිත්‍යාණ්කූල භාරකරු බව සනාථ කිරීමට විධිම්ත් සාක්ෂි සළකා බලා නොතිබුණි. අදද මෙම තත්වය යම්තාක් දුරකට මෙලෙසම පවතින බව කරුණු සොයා බැලීමේදි අනාවරණය විය.

        එක් කාලත්‍රයෙකු වෙනුවෙන් අනෙක් කාලත්‍රයාට පෙනී සිටිමට පණතේ15 වෙනි වගන්තියෙන් විධි විධාන සළසා ඇතත් එය එක් කාලත්‍රයෙක් සිටින විටදීද නොඑසේනම් නැති විටදීද යන්න සඳහන් කර නැත. මෙහිදි පැන නගින කාරණය වන්නේ සමථ වාර්තා සඳහා අත්සන් ලබාගන්නේ නියම පාර්ශ්ව කරුවා වන කාලත්‍රයාගෙන්ද නැතිනම් නියෝජනය කරන කාලත්‍රයාගෙන්ද  යන්නයි. උසාවියට යන ලිපි වලට අත්සන් ලබා ගැනීමේ මෙවැනි අවස්ථා වලදී සමථකාර වරුන් අපහසුතාවන්ට පත්වන බව සටහන් කරුගේ අදහස වේ.සමථ මණ්ඩල පණතේ ඒ පිළිබඳ විධි විධාන සළසා නැත. නීතිය ඉදිරියේ මෙලෙස නියෝජිතයන්ගෙන් ලබාගන්නා අත්සන් කොතරම් දුරට වලංගුද යන්න නීතිය දන්නා බවතුන් විසින් සිතා බලත්වා! අදට බ්ලොග් සටහන නිමයි. නැවත හමුවෙමු.  ආයු බෝවන් !



No comments:

Post a Comment

සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......

  දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...