Friday, 20 October 2017

සමථ කරණයේ රහස්‍යභාවය..................

සමථ කරණයේ රහස්‍යභාවය..................
       සමථ මණ්ඩල පිළිබඳ ලිව්ව බ්ලොක් සටහනේ බොහෝ දේවල් ලිව්වත් තවත් විස බීජයක් ඊයෙ පෙරේද ඔළුවට වැටුණ. ඔන්න ඒ ගැන ලියන්ඩ තමයි අද සූදානම. ඉතින් ඒ සඳහා තරහා අවසර හොදේ.

අපේ ගෙදරට කිට්ටුව ගෙදරක උඩ තට්ටුවක් කුලියට අරගෙන ජෝඩුවක් ලඟකදි ඉදල ඇවිල්ල. සමහර දවස්වල  රෑට රෑට මේ ගේ පැත්තෙන් ඇහෙන ශබ්ධනම් එතරම් සුන්දර නැහැ. බැණ ගන්නව, ගහ ගන්නව, ඊට පස්සෙ ගෙදර බඩුත් පෙරෙලෙණ ශබ්ධ තමයි ඇහෙන්නෙ. වෙලාවකට දුකත් හිතෙනව. පව් අහිංසක ජෝඩුවක්නෙ. ඒ මදිවට පුංචි එකෙකුත් ඉන්නව. මේ වෙලාවට ඒකත් මර ලතෝනි දෙනව. කව්රුත් මේවට අතදාන්න යන්නෙ නැත්තෙ ඒව ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික ප්‍රශ්න නිසා.

දවසක් උදේම මේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ල.  ගෙදර ගෑණු එක්කෙනා පැමිණිල්ලක් දාලලු එයාට ගහල කියල. පොලිසියෙන් ඇවිල්ල ගියාට පස්සෙ මේ මනුෂ්‍යය බොහොම ලජ්ජාවෙන් වගේ තමයි හිටියෙ. ඒ මනුෂ්‍යය මාව දැකල කිව්ව බලන්ඩකො අයියෙ හරි වැඩක්නෙ. ඊයෙ අපේ නෝනත් එක්ක මම පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මම දන්නෙම නැතිව එයා පොලිසියට ගිහිල්ල. ගෙවල්වල තියන ප්‍රශ්ණ වලට පොලිසියට යන්ඩ ඕනැද කියල. ඕව ඉතින් ගොඩින් බේරාගන්ඩ කියල මමත් සේප් වෙලා යන්ඩ ගියා.   
                                        
ටික දවසකට පස්සේ මෙයා පොලිසියට ගිහිල්ල ඇවිල්ල කිව්ව අපේ කේස් එක සමථ මණ්ඩලයට දාල කියල. එයාට අදහසක් තිබුණෙ නැහැ සමථ මණ්ඩලය කියන්නේ  මොකක්ද කියල. මම කිව්ව මල්ලි ලජ්ජ වෙන්ඩ එපා ඔයාට තියන ඔක්කොම ප්‍රශ්ණ සමථ මණ්ඩලයේ මහත්වරුන්ට කියන්ඩ. ඒ අය  ඉතාමත් අපක්ෂපාති, බුද්ධිමත් ඔයාල දෙන්නටම එකග වෙන්ඩ පුළුවන් විසදුමක් ලබා ගන්ඩ උදව් කරයි කියල. එතකොට ඒ අය කිව්ව අපිට තියන ප්‍රශ්න කියන්ඩත් ලජ්ජයි කියල. මටනම් තේරුණා මේ අය මොකක්ද කියන්නෙ කියල. මම නැවතත් කිව්වෙ ලජ්ජ වෙන්ඩ එපා මල්ලි. ඒ අය ඔව කාටවත් කියන්නෙ නැහැ ඒ අයට නම් ඕව සාමාන්‍ය දේවල් කියල.

මෙ දෙන්න සමථ මණ්ඩලයට ගිහිල්ල නැවතත් අපේ ගෙදරට ආවෙ ඉතාමත්ම ආවේගශීලිව. ඒ ගොල්ලො කිව්ව සමථ මණ්ඩලේ තුන්දෙනෙක් අපේ ප්‍රශ්ණය ගැන කථා කළාට දහයක පහළොවක පමණ පිරිසක් වටවෙලා අහගෙන හිටියලු. ඒ මදිවට සමහර අය එයාල කියපුව රැකෝඩුත් කළාලු. ඒ නිසා හිතේ තිබිච්ච දේවල කියාගන්ඩත් බැරි වුණාලු. හරියට සෙනගත් හිටිය හින්ද එතැන හරියට කළබලලු. අන්තිමේදි උසාවියෙන් බේරාගන්ඩ කියල ලියුමක් දුන්නලු. මේක මහ හතර බීරි කථාවක් හින්ද මේ ගැන හොයල බලන්ඩ ටිකක් කල්පනා කළා කියමුකො. ඔන්න ඉතින් දන්න හඳුණන කීප දෙනෙකුගෙන්ම ඇහැව්ව මේ ගැන. ඒ ගොල්ලො කිව්වෙ එදා නීති විද්‍යාලයෙ ඉගෙන ගන්න ශිෂ්‍ය පරම්පරාවක් ආව කියල සමථ මණ්ඩලවල කටයුතු ගැන ඉගෙන ගන්න. එහෙම ආවනම් ඒ ගොල්ලො මොන කෙහෙම්ම මලකටද අවසරයක් නැතිවම මිනිස්සුන්ගෙ පුද්ගලික ප්‍රශ්න වලට හොට දාන්ඩ ගියේ. සමථ මණ්ඩල වල ඉන්න උදවියත් ඇයි ඒවට ඉඩ දුන්නෙ. ඒ අය බැදිල ඉන්නව නේද ඉතාමත් රහසිගත ලෙස පාර්ශ්වකාරයින්ගෙ ප්‍රශ්න වලට විසදුම් අරගෙන දෙන්ඩ. අඩුම ගානෙ මේ දෙගොල්ලන්ටම පාර්ශ්වකරුවන්ට කාරණය පැහැදිලි කරල දීල අවසරයක් ගන්ඩ තිබුණ. පවුල් ආරවුල් කියන ඒව ඉතාමත් රහසිගත දේවල්නෙ.  පුහුණුවට ආපු කට්ටියත් කවදහරි දවසක නීති වේදියො වෙලා මුදල් ලබාගෙන මහජනතාවට සේවය කරයි. සමථ මණ්ඩල වල නෝනා මහත්තුරුත් ලකුණු දා ගනියි. අර වගේ අහිංසක මිනිස්සු නන්නත්තාර වෙයි.

      මෙ ගැන තොරතුරු හොයාගෙන යන කොට එදා සමථ මණ්ඩලේ හිටිය මහත්තයෙක් කිව්ව ලස්සන කථාවක්. එදා පුහුණුවට ආව වෙන්ඩ නීතිවේදි මහත්තයෙක් කිව්වලු අපිට ඔනැ පුහුණුවක් නැහැ අවශ්‍ය අපි ආව කියල අත්සන ලබාගන්න විතරයි කියල. මේ කථාව ඇත්තනම් පළක් නැති දේකට අර මිනිස්සුන්ට කොච්චර අපරාධයක්ද වෙලා තියෙන්නෙ.

අපි ඇත්තකටම හිතමුකො සමථ මණ්ඩලවල කටයුතු ගැන කාටහරි ප්‍රායොගික පුහුණවක් ලබා ගන්ඩ අවශ්‍ය වුණා කියල. එහෙමයි කියල මිනිස්සුන්ගේ සැබෑ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ නැතිව එහෙම පුහුණුවක් ලබා දෙන්ඩ වෙනත් ක්‍රම ඇත්තෙම නැද්ද? පුහුණව ලබාගන්ඩ ආපු අය පාර්ශව කාරයො කරල ගැටළුවක් තෝරාගෙන සමථ මණ්ඩල වල නෝනා මහත්වරුත් සහභාගි කරගෙන සමථ මණ්ඩල හදල ඒ අයට ගැටළුව ඉදිරිපත් කරල පුහුණුව ලබාගන්ඩ කටයුතු කරනවනම් අර ඉස්සෙල්ල කිව්ව වගේ ප්‍රශන ඇති වෙන්නෙ නැහැ වගේම මිනිස්සු නන්නත්තාර වෙන්නෙත් නැහැ. මට නම් හිතෙන්නෙ ඒක වඩාත් ප්‍රායෝගිකයි කියල.

මෙම සටහන අදාල බලධාරින්ගේ අවධානයට යොමු වේවායි කියල පැතුවත් ඒවයින් නම් ඇති වැඩක් වෙන්නෙ නැහැ. මොකද මේ වගේ සටහනක් කියවල යමක් හිතන්ඩ තරම් නිහතමානි මිනිස්සු අප අතර ඇත්තෙත් නැහැ.එහෙම හිටියත් ඒ අයට මේ වගේ සටහන් බලන්ඩ පහසුකම් වගේම  දැනුමක් ඇත්තෙත් නැහැ. ඒවට ඉතින් මක් කරන්ඩද ? නැවත තවත් සටහනකින් හමුවෙනතුරු ආයුබොවන්...

සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......

  දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...